සභාපති තුමාගේ පණිවිඩය

ගරු සභාපති තුමාගේ පණිවිඩය

ලක්දිව සුපතළ ඌව වෙල්ලස්සේ අග නගරය ලෙස ස්වභාව සෞන්දර්යෙන් අනුන වූ බදුලු පුරවරයේ බදුල්ල ප්‍රාදේශීය සභාව වන අප රාජ්‍ය පරිපාලන ව්‍යුහය තුළ පළාත් පාලන ආයතනයක් ලෙස ජනතාවගේ සුභ සාධනය සහ සුඛ විහරණය පිණිස මහජන සෞඛ්‍ය, මංමාවත්, පොදු උපයෝගී සේවා මැනවින් වටහා ගෙන ඇති අතර එම සියළු පහසුකම් ආරක්ෂා කර දීම, විධිමත් කිරීම, පාලනය හා පරිපාලනය කිරීම මඟින් වඩා යහපත් වූත් සමාජ ප්‍රගමනයක් උදෙසා සොඳුරු භෞතික වටපිටාවක් තුල නිර්මාණශීලී නිවැරදි කළමණාකාරීත්වයකින් යුතුව සුහදශීලී හා ප්‍රශස්ත මට්ටමේ සේවාවන් සැපයීමට මා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයත්, කාර්යය මණ්ඩලයත් නිරතුරුව කැපවී සිටින්නෙමු.

පසුගිය යුගය තුළ අප මුහුණ දුන් සහ වර්තමානයේදීද අප මුහුණ දී සිටින Covid – 19 ඇතුළු සෞඛ්‍ය ගැටළු ද නායයෑම් ,ගංවතුර ඇතුළු ස්වභාවික ආපදා තත්ත්වයන්ද ආදී නොයෙකුත් අභියෝග ජය ගැනීමට මා වෙත දිරිදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි.

බාධක මඟින් ලැබූ පන්නරය ආශිර්වාදයක් කොට ගෙන ඉදිරි අභියෝගයන්ද ජය ගනිමින් නව ආදායම් මාර්ග ඇති කිරීමට හා එමගින් කෝරළයේ ජනතාවට වඩාත් ඵලදායී සේවාවක් සැපයීමට කටයුතු කරන්නෙමි.

2021 වර්ෂයේ අපගේ ඉලක්ක කරා ලඟා වීමට හැකි වීම ගැන සතුටු වන අතර ප්‍රදේශයෙන් ලබා ගන්නා ආදායම් ඒකරාශී කොට මූල්‍යමය ශක්තිමත්භාවය තුලින් සංවර්ධන ක්‍රියාවන් ශක්තිමත් කර එමඟින් ජන ජීවිතය නඟා සිටුවීමට ත් යහපත් පරිපාලනයක් මඟින් විනිවිදභාවයකින් යුතුව සේවාවන් සැපයීමටත් මා ඇතුළු මන්ත්‍රී මඩුල්ලත්, සමස්ථ කාර්ය මණ්ඩලයත් ඇප කැප වී කටයුතු කරන බවට සහතික වෙමි.
2022 වර්ෂයේදී අපේක්ෂා කරන අරමුණු සහ ඉලක්ක සාක්ශාත් කර ගැනීම උදෙසා පෙරටත් වඩා සවිමත්ව ගිරිහෙල් අතරින් ඉන්ද්‍රකීලයක් සේ නොසැලී මා යන ගමනේදී මා හට නිරන්තරයෙන් ශක්තිය ධෛර්ය ලබා දෙන මාගේ ගරු උප සභාපති ආර්.එම් විජිත රත්නායක මහතා, ගරු විපක්ෂ නායක ශාන්ත ප්‍රදීප් කුමාර ලියනගේ මහතා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයත්, සභා ලේකම්තුමිය ඇතුළු සමස්ථ කාර්යය මණ්ඩලයත්, බදුල්ල පළාත් ගරු ආණ්ඩුකාරතුමා , බදුල්ල පළාත් පාලන කොමසාරිස්තුමා ,පළාත් පාලන අමාත්‍යංශ ලේකම්තුමා, ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමා ඇතුළු සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් සහ අප සමඟ සම්බන්ධවන අනෙකුත් සියලුම ආයතනවල කාර්ය මණ්ඩලත් කෘතවේදීව සිහිපත් කරන්නෙමි.

ස්තූතියි.

ජේ.එම්.පාලිත අතුලසිරි ජයවර්ධන,
සභාපති,
බදුල්ල ප්‍රාදේශීය සභාව

aaaaa